1961 අංක 31 දරන ආයුර්වේද පනත යටතේ ස්ථාපිත ආයුර්වේද වෛද්‍ය සභාවේ 
හැඳින්වීම හා කාර්යභාරය
1927 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ අනුකාරක සභා නිර්දේශයක් අනුව 1928 දී පිහිටවනු ලැබූ ස්වදේශීය වෛද්‍ය මණ්ඩලය ශ්‍රී‍ ලාංකේය ආයුර්වේද ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම නෛතික අධිකාරී බලය ලත් ආයතනය විය. පසුව 1935 අංක 46 දරන ලංකායුර්වේද වෛද්‍යානුශාසක සභා ආඥා පනත මඟින් ස්ථාපනය කරන ලද ආයුර්වේද වෛද්‍ය සභාව 1941 අංක 17 දරන ස්වදේශීය වෛද්‍ය ආඥා පනතේ (1945 අංක 49 හා 1949 අංක 49 මඟින් සංශෝධිත) විධිවිධාන යටතේ යළිත් ප‍්‍රතිස්ථාපනය කරනු ලැබීය. දැනට ක්‍රියාත්මක ආයුර්වේද වෛද්‍ය සභාව 1977අංක 07 දරන සංශෝධන හා 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනත අනුව සංශෝධනය වී 1961 අංක 31 දරන ආයුර්වේද පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ ව්‍යවස්ථාපිත ආයතනයකි.

ආයුර්වේද වෛද්‍ය සභාවේ කාර්යභාරය

(අ). ආයුර්වේදය උගන්වන යම් ආයතනයක් මේ 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ කාර්යයන් සඳහා ඇමතිවරයා විසින් අනුමත කළ යුතුද යන්න ඇමතිවරයාට නිර්දේශ කිරීම.
(ආ). ආයුර්වේද වෛද්‍යවරුන් වශයෙන් තැනැත්තන්ගේ නම් ලියාපදිංචි කිරීම.

(ඇ). ආයුර්වේද හෙද හෙදියන් වශයෙන් තැනැත්තන්ගේ නම් ලියාපදිංචි කිරීම.

(ඈ). ආයුර්වේද ඖෂධවේදීන් වශයෙන් තැනැත්තන්ගේ නම් ලියාපදිංචි කිරීම.

(ඈඅ). ආයුර්වේද සම්භාහන ශිල්පීන් වශයෙන් තැනැත්තන්ගේ නම් ලියාපදිංචි කිරීම.

(ඉ). එසේ ලියාපදිංචි කිරීම් අවලංගු කිරීම හෝ අත්හිටුවීම, හා

(ඊ). 	1.ආයුර්වේද වෛද්‍යවරුන්, ආයුර්වේද හෙද හෙදියන්, ආයුර්වේද ඖෂධවේදීන් සහ ආයුර්වේද සම්භාහන ශිල්පීන්ගේ වෘත්තිය හැසිරීම විධිමත් කිරීම හා පාලනය කිරීම සඳහා,
2. ඉහතින් සඳහන් (ආ) සිට (ඉ) දක්වා ජේදවල සඳහන් කරුණු වලින් යමක් සඳහා ව්‍යවස්ථා සම්පාදනය කිරීම.

 

1961 අංක 31 දරන ආයුර්වේද පනතේ "ආයුර්වේදය" යන්න පහත සඳහන් ආකාරයෙන් අර්ථ දක්වා ඇත.

"ආයුර්වේදය" යන්නට ආයුර්වේද, සිද්ධ හා යුනානි හා දේශීය චිකිත්සා ක‍්‍රමවල වෛද්‍ය කර්මය හා ශල්‍ය කර්මය ද වෙනත් යම් ආසියාතික රට රටවලට ආවේණික හා ඒ අදාළ රටවල රජයන් විසින් පිළිගත් වෙනත් යම් ප්‍රතිකාර ක්‍රමද ඇතුළත් වේ.

 

1961 අංක 31 දරන පනත යටතේ ස්ථාපිත ආයුර්වේද වෛද්‍ය සභාව


1961 අංක 31 දරන ආයුර්වේද පනත හා 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනත අනුව ආයුර්වේද වෛද්‍ය  සභාව පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත වේ.

(අ).  ආයුර්වේද කොමසාරිස්වරයා ( සභාපති )

(ආ). ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති, ශ්‍රී ලංකාවේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති, ශ්‍රී  ලංකාවේ යාපනය විශ්ව විද්‍යාලයේ සිද්ධ වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා සහ ශ්‍රී ලංකාවේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨයේ පීඨාධිපති,

(ඇ). ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ,  ශ්‍රී ලංකාවේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ, ශ්‍රී ලංකාවේ යාපනය විශ්ව විද්‍යාලයේ සිද්ධ වෛද්‍ය ඒකකයේ සහ ශ්‍රී  ලංකාවේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් විසින් ඔවුන් අතරෙන් තෝරා පත් කරගනු ලැබූ සාමාජිකයන් එක් එක් සාමාජිකයෙකු වශයෙන් සාමාජිකයින් සිව් දෙනකු,

(ඈ). අනුමත කරනු ලැබූ එක් එක් ආයුර්වේද අධ්‍යාපනික ආයතනයක ආචාර්යවරුන් විසින් ඔවුන් අතරෙන් තෝරා පත් කර ගනු ලැබූ එක් සාමාජිකයකු

(ඉ). ලියාපදිංචි කරනු ලැබූ ආයුර්වේද වෛද්‍යවරුන්  විසින් ඔවුන් අතරෙන් තෝරාපත් කර ගනු ලැබූ සාමාජිකයන් තුන් දෙනෙකු  ; හා 

(ඊ). ඇමතිවරයා විසින් පත් කරනු ලැබූ සාමාජිකයන් දොළොස් දෙනෙකුට වැඩි නොවන ගනනක්, ඔවුන් අතර
(i). ලියා පදිංචි කරනු ලැබූ ආයුර්වේද වෛද්‍යවරුන් නොවන තැනැත්තන් අතරෙන් තුන්දෙනෙකු, 
(ii).  සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමය විසින් නම් කෙරෙන දස දෙනෙකුගෙන් යුත් මණ්ඩලයකින් තුන්දෙනෙකු, 
(iii). සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ සාමාජිකයන් නොවන ලියාපදිංචි කරනු ලැබූ ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් දෙදෙනෙකු, 

(උ). අවස්ථානෝචිත පරිදි, මුදල් හෝ භාණ්ඩාගාර විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නම් කරන ලද පරිදි පත් කරනු ලබන එක් සාමාජිකයෙකු විය යුතුය.